• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ කොටස් හුවමාරුව අසාමූහිකරණය (Demutualisation) සඳහා නීති හඳුන්වා දීම
- ලාභ අරමුණු කර නොගත් ඇපයෙන් සීමිත සමාගමක් ලෙස 1985 වර්ෂයේදී කොළඹ කොටස් හුවමාරුව ස්ථාපනය කරනු ලැබ ඇති අතර එය සාමූහික කොටස් හුවමාරුවක් ලෙස ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ එකම ප්‍රධාන කොටස් හුවමාරුව වේ. සාමාජිකයින් විසින් පාලනය කරනු ලබන 'ලාභ අරමුණු කර නොගත්' සුරැකුම්පත් හුවමාරුවක් කොටස් හිමියන් විසින් අයිතිය දරනු ලබන 'ලාභ අරමුණු කර ගත්' සමාගමක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය 'අසාමූහිකරණය' (Demutualisation) යනුවෙන් හැඳින්වේ.

මනා පාලනයක් තහවුරු කිරීමට සහ විවිධාංගිකරණය වූ කොටස් හිමිකාරිත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අසාමූහිකරණය වූ කොටස් හුවමාරුවක් වශයෙන් කොළඹ කොටස් හුවමාරුව ස්ථාපනය කිරීම අවශ්‍ය වේ. ඒ අනුව කොළඹ කොටස් හුවමාරුව කොටස්වලින් සීමිත අසාමූහිකරණය වූ කොටස් හුවමාරුවක් බවට පත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධනය සිදු කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව සකස් කරනු ලැබ ඇති 'කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණයට පත් කිරීමේ පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.