• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා‑ඇළ අන්තර් හුවමාරුවෙහි ඇතුළුවීමේ හා පිටවීමේ මාර්ගයන් හි අතිරේක මංතීරුව බැගින් ඉදි කිරීම
- කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා‑ඇළ අන්තර් හුවමාරුවෙහි රථ වාහන ඇතුළුවීමේ හා පිටවීමේ මංතීරු දෙක බැගින් ඇත. මුලදී මෙම සියලු මංතීරුවල අතින් ගාස්තු එකතු කිරීම (Manual Toll Collection - MTC) සිදු කරන ලද අතර, විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය (Electronic Toll Collection - ETC) හඳුන්වා දීමෙන් අනතුරුව මංතීරුව බැගින් ඒ සඳහා වෙන් කරන ලදී. අධිවේගී මාර්ගය නිතිපතා භාවිත කරන්නන්ගෙන් වැඩි සංඛ්‍යාවක් තවමත් විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයට ආකර්ෂණය වී නොමැති බැවින් අතින් ගාස්තු එකතු කරනු ලබන මංතීරුව හරහා ගමන් කරනු ලබන වාහන සංඛ්‍යාව වැඩි වී තිබේ.

එමෙන්ම, ජා-ඇළ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ශීඝ්‍ර ලෙස ජනාකීර්ණ වීම හේතුවෙන්ද ජා-ඇළ අන්තර් හුවමාරුව භාවිත කරනු ලබන රථවාහන සංඛ්‍යාව අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇත. එබැවින් කාර්ය බහුල වේලාවන්හිදී එම අන්තර් හුවමාරුවෙහි අතින් ගාස්තු එකතු කරනු ලබන මංතීරුවෙහි දැඩි වාහන තදබදයක් දක්නට ලැබේ.

ඒ අනුව, විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයේ දීර්ඝකාලීන වාසි සැලකිල්ලට ගෙන, ඒ සඳහා වෙන්වුණු මංතීරුව තවදුරටත් පවත්වාගෙන යාමටත්, ඉහත දැක්වූ රථවාහන තදබදයට පිළියමක් ලෙස අතින් ගාස්තු එකතු කිරීම සඳහා වෙන්වූ අතිරේක මංතීරුව බැගින් ජා-ඇළ අන්තර් හුවමාරුවෙහි ඇතුළුවීමේ හා පිටවීමේ මාර්ගවල ඉදි කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.