• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෝමාලියා වෙරළ තීරයේ මුහුදු මංකොල්ලයන් මැඬපැවැත්වීම සඳහා වන සාගර මෙහෙයුම් සම්බන්ධ ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම
- සෝමාලියාව ආශ්‍රිත ඉන්දියානු සාගර කලාපය තුළ මුහුදු මංකොල්ලකරුවන් විසින් වාණිජ නෞකා පැහැර ගැනීමේ සිද්ධීන් රැසක් 2005 වර්ෂයේ සිට වාර්තා වූ අතර, 2010 වර්ෂය එවැනි අවස්ථා වැඩිම ගණනක් වාර්තා වූ වර්ෂය වේ. මෙය නිදහස් සමුද්‍රීය වෙළඳාමට සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන ලදී. සෝමාලියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාවන් යෙදවීම, වෙළඳ නෞකාවන් වෙත සන්නද්ධ ආරක්ෂකයින් යෙදවීම ආදි ප්‍රතිචාරයන් හමුවේ එම මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් මේ වන විට දුර්වලව තිබේ. කෙසේ වෙතත් නිවාරක පියවරයන් වශයෙන් මුහුදු මංකොල්ලකෑම්වලට විරුද්ධව සටන් කිරීමේ හැකියාවන් ඉහළ නැංවීමත්, ඒ සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමත් අත්‍යවශ්‍ය වේ.

මේ සඳහා වන අන්තර්ජාතික යන්ත්‍රණයක් වශයෙන් 'සෝමාලියා මුහුදු තීරයේ මුහුදු කොල්ලයන් මැඬපැවැත්වීම සඳහා වන විමසීම් කණ්ඩායම' (The Contact Group on Piracy off the Coast of Somalia) 2009 වර්ෂයේදී පිහිටුවා ගන්නා ලද අතර, ශ්‍රී ලංකාව මුල සිටම එහි සාමාජිකයෙකු වේ. එම කණ්ඩායමෙහි සමුද්‍ර මෙහෙයුම් කටයුතු පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමෙහි ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අවස්ථාවක් උදා වී ඇති අතර, ඒ සඳහා හැකියාව සහ අත්දැකීම් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේ. ඒ අනුව, ඒ සඳහා විධිමත් ඉල්ලීමක්, සෝමාලියා මුහුදු තීරයේ මුහුදු කොල්ලයන් මැඩපැවැත්වීම සඳහා වන විමසීම් කණ්ඩායම වෙත යොමු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.