• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා 'බුද්ධි මණ්ඩල සංසදයක්' (Think Tank Forum) ස්ථාපිත කිරීම
- ආර්ථික සංවර්ධනය ළඟා කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සතු සමුද්‍ර සම්පත තිරසර අයුරින් භාවිත කිරීම හා කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය, ධීවර හා සමුද්‍රීය සංචාරක ක්ෂේත්‍රය නව්‍යකරණය ඇතුළු අභිලාෂ සාක්ෂාත් කරගැනීම සඳහා සාමූහික තීරණ ගැනීමේ වැදගත්කම හඳුනාගනු ලැබ තිබේ. මෙහිදී ප්‍රවීණයින්ගේ අදහස්, යෝජනා, පර්යේෂණ දත්ත ආදිය සැලකිල්ලට ගෙන තීරණ ගැනීමට හැකිවන පරිදි බුද්ධි මණ්ඩල සංසදයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, ආර්ථික විද්‍යාඥයින්, පරිසරවේදීන්, නීතිවේදීන්, නාවික ඉංජිනේරුවරුන්, නාවික හා ජලතරණ නිර්මාණ ශිල්පීන්, සමාජ විද්‍යාඥයින්, ධීවර හා සංචාරක කර්මාන්තයට අදාළ නියෝජිතයින් සහ ධීවරයින්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩල සංසදයක් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.