• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියා ශාන්තිකර වෙළඳ ගිවිසුම යටතේ හතර වන වටය සඳහා වන තීරුබදු සහන ක්‍රියාත්මක කිරීම
බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ලාඕසය, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව යන සාමාජික රටවල් 06න් සමන්විත වන කලාපීය සහයෝගිතා සන්ධානයක් වන, (මීට පෙර බැංකොක් සම්මුතිය ලෙස හඳුන්වන ලද) 'ආසියා ශාන්තිකර වෙළඳ ගිවිසුම' (Asia-Pacific Trade Agreement - APTA), ලොව වේගවත්ම වර්ධනයක් ඇති වෙළඳ පොළ සහිත රටවල් 02ක් වන චීනය සහ ඉන්දියාව සාමාජිකත්වය දරන එකම සක්‍රීය වෙළඳ ගිවිසුම වේ. මෙම වෙළඳ ගිවිසුම යටතේ 1990 වර්ෂයේ සිට මේ දක්වා ‍තෝරාගත් වෙළඳ අයිතම සඳහා තීරු බදු සහන ලබා දීමේ වට 3ක් ක්‍රියාවට නංවනු ලැබ ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව විසින් භාණ්ඩ 442ක් සඳහා තීරු බදු සහන ලබා දෙනු ලැබ තිබේ.

එහි 4වන වටයේ සාකච්ඡා යටතේ, රාජ්‍ය ආදායමට හා දේශීය කර්මාන්තයට බලපෑමක් ඇති නොවන පරිදි තවත් වෙළඳ භාණ්ඩ 143ක් සඳහා තීරු බදු සහන ලබා දීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇත. 4වන වටයේ තීරු බදු සහන 2018 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු සාමාජික රටවල් එකඟ වී තිබේ. ඒ අනුව, අදාළ භාණ්ඩ 143 සඳහා ශ්‍රී ලංකාව විසින් එකඟ වී ඇති පරිදි ආසියා-ශාන්තිකර වෙළඳ ගිවිසුම යටතේ 4 වන වටයේ තීරු බදු සහන 2018 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා 1962 අංක 19 දරන ආදායම් ආරක්ෂණ පනත යටතේ නියෝගයක් නිකුත් කර එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.