• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (Institute of Personnel Management Sri Lanka - IPM), 'වරලත් ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය' ලෙස නාමකරණය
- 'මානව සම්පත් කළමනාකරණ' විෂය පථයට අදාළ වෘත්තීන්හි සුවිශේෂ අවශ්‍යතා හඳුනාගෙන, මෙරට ඵලදායීතාව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා මානව සම්පත උපයෝගි කරගනිමින් නිපුණ වෘත්තිකයින් බිහි කිරීමේ අරමුණින්, 1959 වර්ෂයේදී 'ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය' (Institute of Personnel Management Sri Lanka - IPM) ආරම්භ කරනු ලැබ තිබේ. අනතුරුව 1976 අංක 24 දරන පනත මඟින් එම ආයතනය සංස්ථාගත කරනු ලැබ ඇත.

මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට අවශ්‍ය දැනුම හා පුහුණුව සපයනු ලබන පුරෝගාමී ආයතනය වශයෙන් 'ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය' කටයුතු කරන අතර, වෘත්තීය සුදුසුකම් සපුරා ලන ලද පූර්ණකාලීන සාමාජිකයින් 1,500 දෙනෙකු පමණ එමඟින් නියෝජනය කෙරේ. එම ආයතනයේ කාර්යභාරය විධිමත් කිරීමටත්, එහි ප්‍රමිතිගත වෘත්තිකභාවය, පිළිගැනීම හා කීර්තිනාමය ඉහළ නැංවීමටත් හේතුවන පරිදි, 'වරලත් ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය' ලෙස එහි නාමය සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ සදහා විධිවිධාන සලසමින්, 1976 අංක 24 දරන ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතන පනත සංශෝධනය කිරීම පිණිස කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.