• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය රක්ෂිත ඉඩම් අනවසරයෙන් පරිහරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම
- දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මුළු දුම්රිය රක්ෂිත ඉඩම් ප්‍රමාණය අක්කර 14,000ක් පමණ වේ. ඉන් 10%ක පමණ ඉඩම් ප්‍රමාණයක් විවිධ පාර්ශ්වයන් වෙත බදු පදනම මත ලබා දෙනු ලැබ ඇති අතර, ඉතිරි ඉඩම් ප්‍රමාණයෙන් 80%ක් පමණ අනවසර පරිහරණයට ලක් වී තිබේ. මෙම අනවසරකරුවන් අතරින් බහුතරය සාමාන්‍ය ජනතාව වන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන නිලධාරින් මෙන්ම විශ්‍රාම ගිය නිලධාරිහුද සුළු පිරිසක් ඒ අතර වෙති. දුම්රිය සේවකයින් විසින්ම නීත්‍යනුකූල නොවන අයුරින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් භුක්ති විඳිනු ලැබීමට ඉඩ සැලසීම වැරදි පූර්වාදර්ශයක් වන අතර, රජය‍ට ලැබිය යුතු බදු ආදායම අහිමිවීමක්ද එමඟින් සිදු වේ.

එබැවින්, මෙම දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් සාධාරණ හා සහනශීලි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ඇති හැකියාව සොයා බලා මාස තුනක් (03) තුළ අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා තම ප්‍රධානත්වයෙන් යුතු, පහත සඳහන් අමාත්‍යවරුන්ද සාමාජිකයින් වන අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ගරු මංගල සමරවීර මැතිතුමා,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය;

* ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා,
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය;

* රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා,
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය.