• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීම
- අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන්ම වෙන් වූ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය නීති සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. මෙම කාර්යය සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අවස්ථානුගත පරිදි, අදාළ වැරදිවල ස්වභාවය, බරපතල බව, සංකීර්ණ බව, රජය හෝ වින්දිතයන් වෙත සිදුව ඇති බලපෑම, ජාතික සුබසිද්ධිය ආදී කරුණු විධිමත් ක්‍රමවේදයකට යටත්ව සැලකිල්ලට ගෙන පනතේ නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන අපරාධ නඩු කටයුතු නීතිපතිවරයා හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යෝජිත මහාධිකරණය වෙත යොමු කළ හැකි වනු ඇත. මෙම පනත් කෙටුම්පත මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය සඳහා යොමු කරනු ලැබ තිබේ. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කරන ලද ඉහත කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.