• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සැකකරුවෙකු / චූදිතයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් නිශ්චිත අවස්ථාවන් වලදී ඉවත් කිරීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
- අත්අඩංගුවට ගනු ලැබූ සෑම සැකකරුවෙකුම පැය 24ක් තුළ මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතු අතර, එහිදී ඇප ලබා දීමකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන විටකදී එම නියෝගය දීර්ඝ කරගැනීම සඳහා සාමාන්‍යයෙන් සති 02කට වරක් රැඳවූවන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වේ. ‍එමෙන්ම ඇප ලබා දීම සඳහා මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලයක් නොමැති අවස්ථාවලදී පවා සැකකරු / චූදිතයා වරින් වර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.

මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින, ප්‍රමාදයන් සහ විශේෂයෙන්ම රැඳවූවන් අධිකරණය වෙත රැගෙන යාමේදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම්, සැකකරුවන්ට එරෙහි ජීවිත තර්ජන සහ ඔවුන් අත්අඩංගුවෙන් පැනයාමට ඇති අවස්ථා සැලකිල්ලට ගෙන, සැකකරුවන්/චූදිතයන් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු අවස්ථා සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය පහත සංශෝධන සඳහා පත් කරන ලද විශේෂ කමිටු‍වේ නිර්දේශය පරිදි, සිරකරුගේ සුබසාධනය පිළිබඳ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව තවදුරටත් පවත්වා ගනිමින්, රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ නියෝගය දීර්ඝ කිරීමේ පරමාර්ථය සඳහා සැකකරු හෝ චූදිත තැනැත්තා මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීම අවශ්‍ය නොවන ක්‍රියා පටිපාටියක් නිශ්චිතව හඳුනාගත් අවස්ථාවන් යටතේ හඳුන්වා දීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.