• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රී ලංකාවේ ප්‍රධාන පලතුරු භෝගවල නිෂ්පාදනය ඉහළ නැංවීම, අගය දාමයන් වැඩිදියුණු කිරීම සහ වාණිජකරණය සඳහා තාක්ෂණික සහයෝගය ලබාගැනීම
- ශ්‍රී ලංකාවේ පලතුරු භෝග වගාවන්හි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ කාර්යක්ෂම කෘෂි ව්‍යාපාර අංශයක් ප්‍රවර්ධනය කිරීම මඟින් දේශීය හා අපනයන වෙළඳ පොළට උචිත පරිදි එම භෝගයන්හි වෙළඳ කටයුතු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් සඳහා තාක්ෂණික සහාය ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුවේ දකුණු - දකුණු සහයෝගිතා (South-South Cooperation) සංවිධානය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. මේ යටතේ කෙසෙල්, අඹ සහ අන්නාසි යන පලතුරු භෝග ඉලක්ක කරගනිමින් ඒවායේ නිෂ්පාදනය, ගුණාත්මක බව හා ඵලදායීතාව ඉහළ නැංවීමටත්, අගයදාමයන් වැඩිදියුණු කිරීමටත්, පලතුරු උද්‍යාන හා සැකසුම් මධ්‍යස්ථාන සඳහා ආයෝජන ආකර්ෂණය වැඩිවන පරිදි රාජ්‍ය - පෞද්ගලිකත්ව හවුල්කාරිත්ව ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීමටත් සැලසුම් කරනු ලැබ තිබේ.

කෙසෙල් භෝගයේ අගයදාම කටයුතු ප්‍රධාන වශයෙන් මොනරාගල හා කළුතර දිස්ත්‍රික්ක පදනම් කරගෙනද, අඹ භෝගයේ අගයදාම කටයුතු අනුරාධපුරය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක පදනම් කරගෙනද, අන්නාසි භෝගයේ අගයදාම කටයුතු ගම්පහ, කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්ක පදනම් කරගෙනද සිදු කෙරෙනු ඇත. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉවහල් වන ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, චීන රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ඇති කරගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.