• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දුම්රිය ‍ෙදපාර්තමේන්තුවට අයත් සියලු ඉඩම් සඳහා ඉඩම් සමීක්ෂණ සහ සමාජ ආර්ථික සමීක්ෂණ ක්‍රියාත්මක කිරීම
- වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා රජය විසින් වෙන් කර දෙනු ලැබ ඇති සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතු වේ. විවිධ සමාජ - ආර්ථික හා දේශපාලනික කරුණු හේතුවෙන් දුම්රිය ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම හා භාවිත කිරීම නිසා දුම්රිය ඉඩම්වල සීමා මායිම් පිළිබඳ ගැටලු රැසක් උද්ගත වී ඇති අතර, දුම්රිය මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ සහ නවීකරණ කටයුතුවලටද මෙය බාධාවක් වී තිබේ. එමෙන්ම ආදායම් රැස් කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉඩම් කට්ටි 7,000ක් පමණ බදු පදනම මත ලබා දී ඇති අතර, එම ඉඩම් කළමනාකරණය හා හිඟ බදු එක්රැස් කිරීමද සතුටුදායක පරිදි සිදු නොවේ.

එබැවින්, දුම්රිය ඉඩම්වල සීමා මායිම් මැනුම් කර, පැහැදිලිව නිර්ණය කර, නිශ්චිතව සිතියම්ගත කිරීමට හා ඒවායේ පදිංචිකරුවන් හඳුනාගැනීම පිණිස සියලු දුම්රිය ඉඩම් සඳහා ඉඩම් සමීක්ෂණ පැවැත්වීමටත්, දුම්රිය ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන පදිංචි වී සිටින තැනැත්තන් නැවත පදිංචි කරවීමට සහ බදු පදනම මත ලබා දී ඇති දුම්රිය ඉඩම් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් සියලු ඉඩම් ආවරණය වන පරිදි සමාජ -ආර්ථික සමීක්ෂණයක් සිදු කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.