• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෙරවලපිටිය, මුතුරාජවෙල ප්‍රදේශයේ, ගොඩ කිරීම් සඳහා සහ මුහුදු වැලි සංචිත රැස් කිරීම සඳහා අක්වෙරළ වැලි කැණීම සහ පොම්ප කිරීම
- ගංගා වැලි ගොඩදැමීම අහිතකර පාරිසරික හානිවලට හේතු වන බැවින්, එය අවම කිරීම සඳහා වන විසඳුමක් ලෙස වෙරළට ඔ‍බ්බෙන් වූ මුහුදෙන් කණින ලද වැලි පිරිපහදු කර, ඉදි කිරීම් කටයුතු සඳහා සැපයීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කටයුතු කරනු ලැබේ. මේ වෙනුවෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සංචිතය සඳහා අලුතෙන් මුහුදු වැලි සපයා ගැනීම අවශ්‍යව තිබේ. එමෙන්ම සංවර්ධන සැලසුම් අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ යෝජිත ඉඩම් ගොඩකිරීමේ කටයුතු සඳහාද මුහුදු වැලි සපයා ගත යුතුව තිබේ.

මෙම කාර්යයන් සඳහා අක්වෙරළ වැලි කැණීම සහ පොම්ප කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම කොන්ත්‍රාත්තුව, ඇමරිකානු ඩොලර් මිලියන 19.97ක මුදලකට, ඩෙන්මාර්කයේ M/s. Rohde Nielsen A/S වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.