• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර තරග/තරගාවලි අරමුණු කරගනිමින් ජාතික සංචිතගත ක්‍රීඩා කණ්ඩායම්හි කාර්යසාධනය ප්‍රවර්ධනය කිරීම
- ශ්‍රී ලංකාවේ සිටින වෘත්තීයමය ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සංඛ්‍යාව අ‍තළොස්සක් වන අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තම දෛනික රාජකාරි හා අනෙකුත් කටයුතු අතර, ඉඩප්‍රස්තා ලැබෙන පරිදි ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වෙති. ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරගනිමින් ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු සංචිතවලට ඇතුළත් කරගෙන තාක්ෂණික පුහුණුව, ආහාරපාන, වෛද්‍ය උපදේශකත්වය, ඖෂධ ආදිය නිවැරදි මගපෙන්වීම යටතේ ලබා දීම ඉතා වැදගත් වේ. දැනට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මලල ක්‍රීඩා, බර ඉසිලීම, වූෂු, හොකී, රගර්, කරාතේ යන ක්‍රීඩා හා පැරාඔලිම්පික් තරග සඳහා ක්‍රීඩා පුහුණු සංචිත පවත්වාගෙන යනු ලබන අතර, එමඟින් ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ 159 දෙනෙක් පුහුණු කෙරෙති. එම සංචිතවල ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සඳහා එක් අයෙකුට රුපියල් 10,000 සිට 80,000 දක්වා වන දීමනාවක් ද ගෙවනු ලැබේ.

ජාත්‍යන්තර තරග/තරගාවලි ජයග්‍රහණ ඉලක්ක කරගනිමින් මෙම පුහුණු සංචිතවල කාර්යසාධනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම සංචිතවල ක්‍රීඩකයින් වැඩිදෙනෙකු රාජ්‍ය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි ආයතනවල සේ‍වයේ යෙදමින් ක්‍රීඩාවල යෙදෙන බැවින්, පුහුණු කටයුතු සඳහා ඔවුන් එම වෘත්තීය පරිසරයෙන් පූර්ණකාලීනව නිදහස් කරගැනීමට පියවර ගැනීම අවශ්‍ය වේ. එමෙන්ම සෑම පුහුණු සංචිතයක් සඳහාම ජාතික හා ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ සේවය ලබාගැනීමටත්, පුහුණු සංචිතවලට එක් වන ක්‍රීඩික ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත්, ක්‍රීඩාවෙන් උපරිම දක්ෂතා පෙන්නුම් කරනු ලබන ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට අදාළ බඳවා ගැනීමේ සුදුසුකම් සපුරා ඇති විට රාජ්‍ය ආයතනයන්හි පත්වීම් ලබා දීම මඟින් ඔවුන් දිරිගැන්වීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.