• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- මෙරට අනන්‍යතාව තහවුරු කර ලීමෙහි ලා ඉතා වැදගත්, ඉපැරණි වටිනා අභිලේඛන රාශියක් මෙන්ම 1885 වර්ෂයේ සිට පැවත එන මෙරට නීතිරීති, අණපනත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කරනු ලැබ තිබේ. අනන්‍ය ගෘහ නිර්මාණ සැලැස්මකට අනුව ඉදි කරනු ලැබ ඇති මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැඟිල්ල මහල් 07කින් සමන්විත වන අතර, එය වසර 40ක් පමණ පැරණි වේ.

එබැවින්, මෙහි තැන්පත් කරනු ලැබ ඇති ඉතා වැදගත් ලේඛන නිසි ප්‍රමිතීන්ට අනුව සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත පරිසරය නිර්මාණය කිරීමටත්, උසස් ලේඛනාගාර සේවයක් මහජනතාවට ලබා දීමටත් හැකි වන පරිදි, එම ප්‍රධාන ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.