• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු ප්‍රදේශ සඳහා නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
- ශ්‍රී ලංකාවේ වැවිලි කලාපයේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා යටිතල පහසුකම් සංවර්ධනය තුළින් එම කලාපවල ජීවත්වන ප්‍රජාවට ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක වීමට හැකි වන පරිදි ඔවුන් සමාජමය හා ආර්ථිකමය වශයෙන් සවිබලගැන්වීම අරමුණු කරගනිමින් 'වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය' ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතෙහි ඇතුළත් විධිවිධාන පිළිබඳව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් එළඹුණු එකඟතාවන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.