• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුහුදේ කූඩු තුළ මුහුදු මත්ස්‍ය වගා ව්‍යාපෘතියට අදාළ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් ලබා දීම
- විවෘත මුහුදේ කූඩු තුළ මසුන් වගා කිරීමේ තාක්ෂණය යොදාගනිමින් වෙළඳ පොළේ ඉහළ ඉල්ලුමක් සහිත මොදා, පොම්පානු (වව්වාලයා) හා කොස්සා යන මත්ස්‍ය විශේෂ වාණිජ මට්ටමින් ඇති කිරීමේ ව්‍යාපෘතියක් පාරිසරික සංරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සහ නවීන තාක්ෂණය භාවිත කරමින් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කොඩ්ඩියාර් ප්‍රදේශයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් දේශීය මුහුදු තීරයේ හෙක්ටයාර 150ක මුහුදු ප්‍රදේශයක් ග්ලෝබල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම වෙත 30 අවුරුදු බදු පදනම මත ලබා දීමට ද අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

එම ව්‍යාපෘතිය යටතේ වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2,000ක පමණ මත්ස්‍ය නිෂ්පාදනයක් සිදු කිරීමට නියමිත අතර, ඊට අවශ්‍ය සේවා සම්පාදනය සහ මසුන් වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට පෙර සිදු කළ යුතු පිරිසැකසුම් කටයුතු සඳහා සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය වී තිබේ. ඒ සඳහා මුතූර් ප්‍රා‍ෙද්ශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අක්කර 01ක බිම් කොටසක්, ග්ලෝබල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම වෙත බදු පදනම මත වසර 30ක කාලයක් සඳහා ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.