• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වර්තමානයේ ක්‍රියාත්මක වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් හා යාවත්කාලීන කිරීම
- ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, වර්තමානයේදී සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග නිකුත් කරනු ලැබේ. වර්තමානයේ පවතින වීසා වර්ග සහ ඒ සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමටත්, දැනට ශ්‍රී ලංකා රුපියල්වලින් අය කරනු ලබන වීසා ගාස්තු ඇමරිකානු ඩොලර්වලින් අය කිරීමටත් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, පහත සඳහන් අංගද වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඇතුළත් කරමින් 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 14වන වගන්තිය හා අදාළ රෙගුලාසි යෝග්‍ය වන පරිදි සංශෝධනය කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ වන ක්ෂේත්‍රයන්හි ආයෝජිකයින්/සේවකයින්ට අදාළ නේවාසික වීසා නිර්දේශ කිරීමේ බලය ආයෝජන මණ්ඩලය අයත්වන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීම.

* වලංගු වීසා කාලය ඉක්මවා සිටින විදේශිකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරීම.

* විදේශීය ශිෂ්‍යයින් සඳහා සම්පූර්ණ අධ්‍යයන කාල පරිච්ඡේදය සඳහා නේවාසික වීසා ලබා දීම.

* ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000කට වැඩි මුදලක් ප්‍රේෂණය කරනු ලබන විදේශිකයින්ට අවුරුදු 10ක කාල සීමාවක් සඳහා නේවාසික වීසා නිකුත් කිරීම.

* ශ්‍රී ලාංකික පුරවැසියකු හා විවාහ වී සිටින විදේශීය කලත්‍රයා සඳහා වසර 05ක කාලසීමාවක් සඳහා කලත්‍ර වීසා ලබා දීම සහ ඔවුන්ගේ දරුවන්ටද වීසා ලබා දීම.

* සිය ශ්‍රී ලාංකේය කලත්‍රයන් මියගිය විදේශීය කලත්‍රයන් සඳහා මෙන්ම, ශ්‍රී ලංකාව තුළ වසර 10ක කාලයක් අඛණ්ඩව වාසය කරන ලද හෝ වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින විදේශීය කලත්‍රයන් සඳහා රැකියාවක නිරත වීම පිණිස අවුරුදු 02ක කාලසීමාවකට නේවාසික වීසා ලබා දීම.

* ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති, දැනටමත් විදේශීය රටක පුරවැසිභාවය ලබා ඇති, ශ්‍රී ලාංකිකයන්ව සිටි පුද්ගලයින් හට ස්ථිර නේවාසික වීසාවක් (Permanent Residence Visa) ලබා දීම.