• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'වර්ධනය සඳහා යහපාලනය' (Governance for Growth) වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- සමාජයේ කිසියම් පිරිසකගේ නොව පොදු මහජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහි ලා රජය සතු වගකීම 'යහපාලනය' සංකල්පයෙහි මූලික අංගයක් වේ. යහපාලනය වෙනුවෙන් රජය විසින් දරනු ලබන ප්‍රයත්නයන්ට සහයෝගයක් වශයෙන් මහජනතාවට රාජ්‍ය සේවාවන් ලබා දීම වැඩිදියුණු කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 31ක ප්‍රදානයක් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය එකඟ වී තිබේ. මෙම අරමුදල් යොදා ගනිමින් 'වර්ධනය සඳහා යහපාලනය' (Governance for Growth) නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ආර්ථිකය වර්ධනය ඉහළ නැංවීම සහ එම වර්ධනයෙහි ප්‍රතිලාභ සමාජය තුළ ව්‍යාප්ත කිරීම මඟින් රටෙහි පවතින දුප්පත්කම හා ආදායම් විෂමතාවන් අවම කිරීම, කාර්යක්ෂම හා වගවිය හැකි රාජ්‍ය සේවාවන් ලබා දීම සඳහා අනුග්‍රහය දැක්වීම, ආර්ථික තීරණ ගැනීමේදී හා රාජ්‍ය සේවාවන් ලබා දීමේ ගුණාත්මක බව ඉහළ නැංවීමේදී ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් සඳහා සහාය දීම යන කරුණු මේ යටතේ ආවරණය කෙරේ. ඒ අනුව, යෝජිත වැඩසටහන ඉදිරි වසර 05ක කාල සීමාව තුළ ක්‍රියාවට නැංවීමටත්, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සමඟ පාලිත ගිවිසුමකට අත්සන් තැබීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.