• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'මඳසරුබව'ට ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම
- 'මඳසරුභාවය' හෙවත් 'ගර්භිණීභාවය උදා කරගැනීමට අපොහොසත් වීම', ශ්‍රී ලංකාවේ අඹුසැමි යුවළ අතරින් 15%කට වැඩි පිරිසක් මුහුණ දෙන ගැටලුවක් වී ඇති බව හඳුනාගනු ලැබ තිබේ. අඹුසැමි සබඳතා බිඳ වැටීම, සමාජයේ හුදකලා වීම, ගෘහස්ත සහයෝගය නොලැබීම, දේපළ උරුම වීම වැළකීම ආදි ඍණාත්මක සමාජීය ප්‍රතිවිපාකවලට එම තත්ත්වය හේතු වී තිබේ.

එබැවින්, මඳසරු බවට ප්‍රතිකාර කිරීමේදී රාජ්‍ය සෞඛ්‍ය සේවය විසින් වර්තමානයේ සලසනු ලබන සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව කෘත්‍රිම සංසේචනය (IVF) සහ ඩිම්බ/කළල අධිශීත කිරීම වැනි නවීන ප්‍රතිකාර ක්‍රමද සලසනු ලබන, මඳසරු බවට ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ සේවා මධ්‍යස්ථානයක් පළමුව කාසල් වීදිය කාන්තා රෝහලෙහි ස්ථාපිත කිරීමටත්, එහි දෙවන මධ්‍යස්ථානය ගාල්ල කරාපිටිය නව මාතෘ රෝහලෙහි ස්ථාපනය කිරීමටත්, තුන්වන අදියර යටතේ අනෙකුත් සෑම පළාතකම එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපනය කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.