• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ණය කළමනාකරණය
- රජයේ ආදායම ඉහළ නංවමින් හා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් ඇති කිරීමෙන් රාජ්‍ය ණය ඒකරාශී වීම අඩු කිරීම මඟින්, 2020 වර්ෂය අවසානය වන විට, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අනුපාතය 70%ක් දක්වා පහත හෙළීමට රජය සැලසුම් කර තිබේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් මේ සඳහා පවතින විකල්පයන් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, වඩාත් හිතකර ලෙස රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ආයෝජක ආයතන වෙතින්ද විවිධ යෝජනා ඉදිරිපත් වී තිබේ. එබදු ඇතැම් යෝජනා පහත දැක්වේ.

(i) මැදිකාලීන රාජ්‍ය මූල්‍ය පුරෝකථනයන්හි සඳහන් අන්දමට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව ඉහළ නැංවීම.

(ii) පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය මඟින් තෝරා ගනු ලබන, වඩාත් ඉක්මණින් ප්‍රතිලාභ ලැබෙන කාර්යයන් සඳහා රාජ්‍ය ආයෝජන යෙදවීම.

(iii) රාජ්‍ය ආයෝජන සඳහා දේශීය පෞද්ගලික අංශය හෝ විදේශීය ආයෝජකයින් ආකර්ශණය කරගැනීම මඟින් රාජ්‍ය ආයෝජන වෙනුවෙන් ණය ලබාගැනීම අඩු කිරීම.

(iv) රජය සතු විශාල ව්‍යවසායයන්ගේ මූල්‍ය සහ මෙහෙයුම් තත්ත්වය දියුණු කිරීම තුළින් රජයේ වියදම් කෙරෙහි ඒවායේ බලපෑම අඩු කිරීම.

(v) වඩාත් විචක්ෂණශීලි ලෙස දේශීය ණය නිකුත් කිරීම.

(vi) සාපේක්ෂ ලෙස වඩාත් අඩු පොලියක් යටතේ ණය ලබාගත හැකි අවස්ථාවලදී ලබා ගන්නා ණයවලින් ඉහළ පොලියක් යටතේ ලබා ගෙන ඇති ණය ගෙවා දැරීම.

එකී විකල්පයන් සහ යෝජනාද, වගකීම් කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝගයන්ද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එම කරුණු සැලකිල්ලට ගන්නා ලදී.