• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වීමෙන් සිය පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සඳහා ලබා දෙනු ලබන නිවාස කුලී දීමනාව තවදුරටත් ලබා දීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්ව තම නිත්‍ය වාසස්ථානවලින් ඉවත් කරන ලද පවුල් සඳහා රජය විසින් පදිංචියට සුදුසු විකල්ප ඉඩම් ලබා දෙනු ලබන තෙක් මාසික නිවාස කුලී දීමනාවක් මාස 06ක කාල සීමාවක් සඳහා ලබා දීමට 2017‑08‑29 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී. එම පවුල් නැවත පදිංචි කිරීම සඳහා හඳුනාගන්නා ලද බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටස් කිහිපයක් ද පදිංචිය සඳහා ප්‍රමාණවත් තරම් ආරක්ෂිත නොවන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් වාර්තා කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම කාර්යය සඳහා සුදුසු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් හඳුනාගනු ලැබ ඇති අතර, ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී.

එබැවින්, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශය පරිදි, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිය පදිංචි ස්ථානවලින් ඉවත් කරනු ලැබ ඇති පවුල් සඳහා දැනට ලබා දෙනු ලබන මාසික නිවාස කුලී දීමනාව තවත් මාස 06ක කාලසීමාවක් සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.