• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද ජලාශයේ පරීක්ෂණ කටයුතු හේතුවෙන් නියමිත පරිදි වාරි ජලය නිකුත් කිරීමට නොහැකිවීමෙන් 2017/2018 මහ කන්නයේ සිය වගාව අත්හැර දැමීමට සිදු වූ කවුඩුල්ල වාරි ව්‍යාපාරයේ ගොවිපවුල් 4,000ක් සඳහා සහන සැලසීම
- 2017/2018 මහ කන්නය සඳහා ජල පාලන කමිටු තීරණ ප්‍රකාරව, 2017‑11‑10 දින සිට ඇළහැර, ගිරිතලේ, මින්නේරිය හා කවුඩුල්ල වාරි ව්‍යාපාරවලට ජලය නිකුත් කිරීමට නියමිතව තිබූ අතර, මොරගහකන්ද ජලාශයේ ඉදි කිරීම් නිර්මිත පරීක්ෂණ කටයුතු නිම කිරීම සඳහා ජලය එක්රැස් කිරීමට සිදු වීම නිසා කවුඩුල්ල ජලාශයේ ඉහළ ඇළ යටතේ වාරි පහසුකම් ලබා දෙනු ලබන ගොවීන් 4,000කට පමණ මෙවර මහ කන්නය සඳහා ජලය ලබා දීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් 2017/2018 මහ කන්නයේ සිය වගාව අත්හැරීමට සිදු වූ කවුඩුල්ල වාරි ව්‍යාපාරයේ ගොවි පවුල් 4,000 සඳහා රුපියල් 10,000/- බැගින් වූ විශේෂ සහනාධාරයක්, ඔවුන්ට දැනටමත් ලබා දෙනු ලබන රුපියල් 5,000/- වියළි සලාකයට අමතරව, ඉදිරි මාස 03ක කාලසීමාව සඳහා ලබා දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.