• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර II ක්‍රියාත්මක කිරීම
- රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර I ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍යාධාර යටතේ 2008 - 2015 කාලසීමාව තුළ සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එහි අදියර II යටතේ නව පොම්පාගාර 7ක් ඉදි කිරීම, කිලෝමීටර 95ක් දිගැති අපජල රැස් කිරීමේ ජාලයක් ඉදි කිරීම, මොරටුව පිරිපහදු මධ්‍යස්ථානයේ උපකරණ නවීකරණය කිරීම ආදිය සිදු කිරීමට නියමිත අතර, එමඟින් නිවාස 11,000කට සහ වාණිජ හා කාර්මික ස්ථාන 580කට පමණ අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීමට හැකි වනු ඇත.

මෙම අදියර II ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 105.5ක් වැය වන අතර, ඉන් යුරෝ මිලියන 75ක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව, එම අරමුදල් ලබා ගැනීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.