• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර, දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයේ අපනයන සංවර්ධන කලාපයක් ස්ථාපනය කිරීම
- අධිවේගී මාර්ග කලාප ඔස්සේ අපනයන කලාප ස්ථාපනය කිරීම සඳහා සුදුසු ඉ‍ඩම් හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් 2018 අයවැය මඟින් රුපියල් බිලියන 2.5ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බස්නාහිර, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප/ කාර්මික කලාප 12 ක් මේ වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බැවින් නව ආයෝජන කලාප පිහිටුවීමට අවශ්‍යව ඇත.

විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකාවේ කාර්මික උද්‍යානයක් ස්ථාපනය කිරීම සඳහා තායිලන්ත - ජපන් හවුල් ව්‍යාපාර සමාගමක් විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා කළුතර දිස්ත්‍රික්කයේ, මිල්ලනිය ප්‍රදේශයෙන් සුදුසු ඉඩම් කොටස් කිහිපයක් හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ස්ථාපනය කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටස් අදියර 2ක් යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා ගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.