• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භූගත ජලය තිරසර ලෙස කළමනාකරණය කිරීම
- ජනගහනය වර්ධනය වීමත් සමඟ සිදුවන විවිධ සංවර්ධන කටයුතු නිසා ශ්‍රී ලංකාවේ භූගත ජලය භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ගෘහස්ථ පරිභෝජනය හැරුණු විට කෘෂිකර්මාන්තය, ජල බෝතල්කරණය, සංචාරක හෝටල්, වාහන සේවා ස්ථාන, විවිධ කර්මාන්ත ආදිය සඳහා විශාල වශයෙන් භූගත ජලය භාවිතයට ගැනේ. භූගත ජලය අධික ලෙස භාවිතය විවිධ පාරිසරික ගැටලු සඳහා හේතු වන බැවින් නළ ළිං විදුම් යන්ත්‍ර හිමිකරුවන් ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර භූගත ජලය ලබාගැනීම නියාමනයකට යටත් කරනු ලැබ තිබේ. මෙහිදී නළ ළිං ඉදි කිරීමේ කර්මාන්තකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අංක 2010/23 දරන 2017‑03‑16 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මඟින් නියම කරනු ලැබ තිබේ.

එම රෙගුලාසි අනුව කටයුතු නොකරනු ලබන නළ ළිං ඉදි කිරීමේ නියුක්ත කර්මාන්තකරුවන් සඳහා ජල සම්පත් මණ්ඩල පනතේ විධිවිධාන යටතේ පනවනු ලබන දඩ මුදල වැඩි කිරීමටත්, නළ ළිං විදුම් යන්ත්‍ර සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම මඟින් නළ ළිං විදුම්කරුවන්ගේ ප්‍රමිතියක් ඇති කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.