• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම
- වර්ග අඩි 750ට වඩා අඩු නිවාස පුළුල් කිරීමට හෝ ඒවායේ ඉදි කිරීම් සම්පූර්ණ කිරීමට වෙර දරන එහෙත් මූල්‍යමය අපහසුතා නිසා එසේ කිරීමට නොහැකි අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 200,000ක් දක්වා අරමුදල් සැපයීමට 'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්‍රමය 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී. 2020 වර්ෂය වන විට ණයලාභීන් 100,000ක් සඳහා මෙමඟින් ප්‍රතිලාභ සැලසීමට සැලසුම් කර ඇති අතර, 2017 දෙසැම්බර් 14 දින වන විට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි කර ඇති ණයලාභීන් සංඛ්‍යාව 3,354ක් වේ.

නාගරික ප්‍රදේශයන්ගෙන් පිටත සිටින අඩු ආදායම්ලාභීන්ගේ හා පැරණි නිවාස හිමියන්ගෙන් බොහෝ දෙනෙකුගේ නිවාසයන්හි ප්‍රමාණය වර්ග අඩි 750ට වැඩි බැවින් ඔවුන් මෙම ණය යෝජනා ක්‍රමයට සුදුසුකම් නොලබන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමය සඳහා සලකා බලනු ලබන අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවල වර්ගඵලය වර්ග අඩි 1,000ක් දක්වා වැඩි කිරීම මඟින් 'සොඳුරු පියස' ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට සුදුසුකම් ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.