• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'බදු පදනම ඛාදනය වීම සහ ලාභ විතැන්වීමේ' (BEPS) ව්‍යාපෘතිය සඳහා වන හවුල්කරු ගාස්තු ගෙවීම
- දේශීය සහ ජාත්‍යන්තර බදු ව්‍යූහයන්හි පවතින හිදැස් හේතුවෙන් ජාත්‍යන්තර ගණුදෙනුවල නිරත බහු ජාතික සමාගම් බදු බැඳියාව අවම කිරීමට හෝ බදු නොගෙවා සිටීමට අවස්ථා නිර්මාණය කරගනු ලබන බව පෙනී ගොස් තිබේ. මෙම ගැටලුව සඳහා පිළියම් යෙදීම පිණිස 'බදු පදනම ඛාදනය වීම සහ ලාභ විතැන්වීමේ ව්‍යාපෘතිය' නමින් කාර්ය සැලැස්මක් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (The Organization for Economic Cooperation and Development - OECD) සහ G-20 රටවල් විසින් සකස් කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාව 2016 වර්ෂයේදී එහි පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලද අතර, මේ වන විට රටවල් 107ක් එම කාර්යරාමුව හා සම්බන්ධ වී තිබේ. බදු පැහැර හැරීම් සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී රාජ්‍යයන් සහ බදු පරිපාලකයින් වෙත පැහැදිලි විසඳුම් ලබා දීම මෙම කාර්යරාමු ව්‍යාපෘතිය මඟින් සිදු කෙරෙන බැවින් එහි සාමාජිකත්වය පවත්වා ගැනීම ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වේ. ඒ අනුව, එම ව්‍යාපෘතියෙහි සාමාජිකත්වය දැරීම වෙනුවෙන් යුරෝ 30,000ක සාමාජික ගාස්තුවක් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය වෙත ගෙවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.