• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය -
- 2018‑01‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සීමා කරමින් 2016‑09‑06 දින රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබිණි. එම තීරණය සම්බන්ධයෙන් ඉදි කිරීම් ක්ෂේත්‍රයෙන් කෙරුණු ඉල්ලීම් හා එම විෂය පිළිබඳ විශේෂඥයින් විසින් කෙරුණු විවිධ නියෝජනයන් සහ කරුණු දැක්වීම් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඇස්බැස්ටෝස්වලින් 80%ක් පමණ වහලවල් සඳහා වන සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන අතර, 2018‑01‑01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සීමා කිරීම හේතුවෙන් නිවාස ඉදි කරන්නන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරවන ලදී. විශේෂයෙන්ම ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ රටෙහි ඇස්බැස්ටෝස් භාවිතය සීමා කිරීම හේතුවෙන් ඒ සඳහා වන සුදුසු විකල්ප නිෂ්පාදන, වෙළඳ පොළ තුළ සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථා ඇති කිරීමට ඇති අපහසුතාව සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව 2018‑01‑01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සීමා කිරීම් පිළිබඳ තීරණය ක්‍රියාවට නැංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.