• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුසියානු සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා තේ ආනයනය අත්හිටුවීම
- ශ්‍රී ලංකාවෙන් රුසියානු සමූහාණ්ඩුව වෙත අපනයනය කරන ලද ශ්‍රී ලංකා තේ අඩංගු ඇසුරුමක තිබී කප්රා බීට්ල් (Trogoderma granarium) නමැති කුරුමිණියාගේ කීටයකු හඳුනා ගැනීම හේතුවෙන් 2017‑12‑18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය රුසියානු සමූහාණ්ඩුව විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව විසින් රුසියානු සමූහාණ්ඩුව වෙත සිදු කෙරෙන තේ අපනයනය, ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයන වටිනාකමින් 11%ක් පමණ වන ප්‍රමාණයක් නියෝජනය කරන බැවින් මෙම තතත්වය ගැන විශේෂ අවධානය යොමු විය යුතු බවත්, අදාළ කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ වන බැවින්, රුසියාවට නැව්ගත කරන ලද තේ බහාලුමක එම කුරුමිණි විශේෂය දක්නට ලැබීම ගැටලු සහගත තත්ත්වයක් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා විසින් පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා තේ කර්මාන්තය විසින් එහි ඉහළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගොඩනඟා ගනු ලැබ ඇති කීර්තිනාමය ආරක්ෂා කරගැනීම සඳහා මෙහිදී කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ශාක නිරෝධායන සේවාවේ නිලධාරින්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ තේ පර්යේෂණ ආයතනයේ විශේෂඥයින්ගෙන් සමන්විත, සිය ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් රුසියානු රජය විසින් සාකච්ඡා සඳහා දිනයක් ලබා දුන් වහාම කෙටි දැනුම් දීමකින් රුසියාව බලා යාමට සූදානමින් සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. තවද, මෙම තහනම ඉවත් කරගැනීම සඳහා සුදුසු අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාර දැක්වීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.