• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය - ව්‍යාපෘති සැකසීමේ විශේෂ අරමුදල සඳහා ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම-
- කොළඹ නාගරික ප්‍රදේශය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, මේ යටතේ පුත්තලම - අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 115 බැගින් අරමුදල් සපයනු ලබන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 44ක් වැය කරනු ලබයි.

ඊට අමතරව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමට ඇමරිකානු ඩොලර් 700,000ක ප්‍රදානයක් ලබා දීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව එකඟ වී තිබේ. එම මූල්‍ය ප්‍රදානය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අතර ප්‍රදාන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.