• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීම සහ ජලගැලීම් සහ නියං සහන ලබා දීම
- අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් රට තුළ ආහාර සැපයුමට බලපෑම් එල්ලවීමෙන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇත. එමෙන්ම මෑතකදී ඇති වූ ගංවතුර හා නියං තත්ත්වයන් හේතුවෙන් ද ජනතාවගේ ජීවනෝපායන්ට බාධා එල්ල වී තිබේ. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජීවන විදයම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් සාකච්ඡා ගණනාවක් පවත්වනු ලැබ තිබේ. එහිදී ගනු ලැබූ තීරණ අනුව, පහත සඳහන් ක්‍රියමාර්ග නොපමාව ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

i. ගෘහ ඒකක සඳහා දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම ‍සමාලෝචනය කිරීම සඳහා අදාළ නිලධාරින්ගෙන් සමන්විත 'පවුල් අයවැය ඒකකයක්' ස්ථාපිත කිරීම.

ii. ජීවන වියදම් පිළිබඳ අනුකමිටුව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් හා අනෙකුත් අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් යුතු සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීම.

iii. සුපිරි වෙළඳසැල්, සතොස හා අනෙකුත් පෞද්ගලික වෙළඳසැල් මඟින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය දක්වා හාල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ළූණු, අල, ටින්මාළු යන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් සහන මල්ලක් බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

iv. ඒ සඳහා සහභාගි වන ආයතන හා සිල්ලර වෙළඳුන් විසින් ගෙවනු ලබන ආදායම් බද්දෙන් 50%ක් ප්‍රතිපූරණය කිරීමටත්, විදුලි වියදම සඳහා බදු සහන ලබා දීමටත් වැඩපිළිවෙළක් සකස් කිරීම.

v. පොල් මද ආනයනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා එම කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ට පැවරීම.

vi. පොල් ආනයනය කිරීමේදී ඕස්ට්‍රේලියාව විසින් අනුගමනය කරනු ලබන නිරෝධායන ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ද ස්ථාපිත කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ සහාය ලබාගැනීමේ හැකියාව සොයා බැලීම.

vii. ගංවතුරින් විපතට පත් වූ පුද්ගලයන් සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ගෙවීමට එකඟ වී ඇති වන්දි මුදල හා තක්සේරු වටිනාකම අතර වෙනස 2017 දෙසැම්බර් මස 31 දිනට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් ආපදාවට ලක්වූ පුද්ගලයන් වෙත ගෙවීම.

viii. අයහපත් කාලගුණය හේතුවෙන් වගා කන්න තුනක් හෝ හතරක් හානි වී ඇති කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ වන්නි දිස්ත්‍රික්කවල ගොවි පවුල්වලට සහන සැලසීම පිණිස අවශ්‍ය පියවර ගැනීම.