• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් සපයා ගැනීම
- මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහලේ කාර්යභාරය පසුගිය කාලසීමාව තුළ විශාල වශයෙන් පුළුල් වී ඇති අතර, ඊට සමගාමීව රෝහලේ ඉඩ පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ. මෙම රෝහල සඳහා හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිත, රෝහලට යාබද ඉඩම් කොටසක් යොදාගත යුතු වේ.

මෙම රෝහල් ඉඩමෙන් හෙක්ටයාර 01ක පමණ ඉඩම් කොටසක් 2001 වර්ෂයේදී පෞද්ගලික පාර්ශ්වයක් වෙත වසර 30ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දී ඇති නමුත්, අදාළ බදු කොන්දේසි සපුරා ලීමට එම ආයතනය අපොහොසත් වී ඇත. ඒ අනුව, අදාළ බදු ගිවිසුම අවලංගු කර, එම ඉඩම් කොටස, නැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා නිදහස් කරගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.