• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාබනික ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම හා එම නිෂ්පාදන සඳහා අපනයන වෙළඳ පොළ විවෘත කර දීම
- රසායනික පොහොර, කෘමිනාශක හා පලිබෝධනාශක භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරනු ලබන කාබනික ආහාර ද්‍රව්‍ය සඳහා ජාත්‍යන්තර වෙළඳ ‍පොළේ විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතී. එබැවින්, 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන' යටතේ කාබනික ගොවිතැනට සම්බන්ධ ගොවීන් 15,000ක් පමණ තෝරාගෙන, විධිමත්ව කාබනික ගොවිතැනෙහි නිරත වීමට අවශ්‍ය මූලික දැනුම හා පුහුණුව ලබා දීමටත්, ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේදී වැදගත් වන කාබනික කෘෂි නිෂ්පාදන සහතිකය ලබා දීමටත්, එම නිෂ්පාදන අපනයනය කිරීමට පහසුකම් සැලසීමටත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම, කාබනික පොහොර යොදා බිම්මල් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් සහ දැනුම සහිත විශේෂඥ කණ්ඩායම් චීනයෙන් ගෙන්වා ගෙන, තරුණ ගොවීන් 2,500කට තාක්ෂණික පුහුණුව ලබා දීමටත්, ඔවුන්ට වෙළඳ පොළ අවස්ථා සහ මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා වී තිබේ. තවද, තරුණ ප්‍රජාව කෘෂි කර්මාන්තයට නැවත ආකර්ෂණය කරගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිත කරනු ලබන ආදර්ශ ගොවිපළ කිහිපයක් රට තුළ ස්ථාපනය කර, එමඟින් 6,500ක පමණ තරුණ තරුණියන් පිරිසකට කෘෂි ව්‍යවසායකත්ව දැනුම ලබා දීමට ද සැලසුම් කර තිබේ.

දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළ වෙත අපනයනය කරමින් ඉහළ ආදායමක් ලබාගැනීමට මෙරට ගොවීන් වෙත ඉඩ සැලසීම අරමුණු කරගනිමින්, ඉහත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.