• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලක් විජය බලාගාරයේ, ඒකක 02හි ටර්බයිනය සහ අදාළ ප්‍රධාන උපාංගවල නඩත්තු කටයුතු සිදු කිරීම
- පුත්තලම, ලක්විජය ගල් අඟුරු බලාගාරය මෙගාවොට් 300 බැගින් වූ ඒකක 03කින් සමන්විත වේ. 2014 වර්ෂයේදී ජනන කටයුතු ආරම්භ කරන ලද එහි දෙවන ඒකකයේ ටර්බයිනයේ ප්‍රධාන පද්ධති 15ක් අඩංගු වන අතර, එම පද්ධතිවල ප්‍රථම වරට කරනු ලබන නඩත්තු කටයුතු සිදු කළ යුතුව තිබේ. මෙම බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා බලාගාරයේ මුල් කොන්ත්‍රාත්කරු වන China Machinery Engineering Corporation (CMEC) ආයතනය සමඟ එළඹ ඇති අවබෝධතා ගිවිසුම 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා වලංගු වේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම නඩත්තු කටයුතු සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 263.4ක මුදලකට China Machinery Engineering Corporation (CMEC) ආයතනය වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.