• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහාධිකරණයේ දිනපතාම නඩු විභාග කිරීම අනිවාර්ය කිරීම
- ජූරි සභාවක් සහිතව හෝ රහිතව මහාධිකරණයේ පැවැත්වෙන සෑම නඩු විභාගයක්ම, හැකි සෑම විටක දී ම, දිනපතා පැවැත්විය යුතු බව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 263(1) වන අතුරු විධානයේ සඳහන් වේ. නමුත්, එසේ නඩු විභාග දිනපතා නොපැවැත්වෙන අතර, ඒ හේතුවෙන් නඩු විශාල සංඛ්‍යාවක් මහාධිකරණවල ගොඩගැසී තිබේ. 2017 සැප්තැම්බර් මාසය වන විට මෙරට මහාධිකරණවල විභාග වෙමින් පැවති මුළු නඩු සංඛ්‍යාව 17,565ක් විය. යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම අහිතකර ප්‍රතිවිපාකවලට හේතු වන බැවින් මෙම තත්ත්වයට කඩිනමින් පිළියම් යෙදීම අවශ්‍ය වේ.

ඒ අනුව, විශේෂ අවස්ථාවලදී සහ සඳහන් කිරීමට ප්‍රමාණවත් තරම් සාධාරණ හේතු තිබෙන අවස්ථාවලදී හැර, මහාධිකරණයේ නඩු විභාග දිනපතා පැවැත්වීම අනිවාර්ය කිරීම සඳහා විධිවිධාන සලසමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.