• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සංහිඳියාවේ නාලිකාව' සඳහා උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදි කිරීමට ඉඩමක් පවරා ගැනීම
- ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ දෙවන නාලිකාව වශයෙන් 2000 වර්ෂයේදී ආරම්භ කර පවත්වාගෙන යනු ලබන 'අයි' (Eye) නාලිකාවෙහි විකාශන කාලයෙන් වැඩි ප්‍රමුඛතාවක් ක්‍රීඩා වැඩසටහන් සඳහා ලබා දීම හේතුවෙන්, දෙමළ භාෂාව කථා කරන විශේෂයෙන්ම උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ජනතාව සඳහා වෙන් වූ නාලිකාවක අවශ්‍යතාව මතු වී තිබේ. ජාතික සංහිඳියාව ගොඩනැංවීමේදී මෙවැනි රූපවාහිනි නාලිකාවක් තිබීම මනා පිටිවහලක් වන බැවින්, 'සංහිඳියාවේ නාලිකාව' නමින් නව නාලිකාවක් ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබ ඇති අතර, ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද ලබා දෙනු ලැබ තිබේ. එම නව නාලිකාව සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විට ඇණවුම් කරනු ලැබ ඇති අතර, එහි විකාශන කටයුතු වෙනුවෙන් උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදි කිරීම අවශ්‍ය වේ.

ඒ අනුව, චාවකච්චේරිය ප්‍රදේශ‍යේ පිහිටි, යාපනය/මීසාලෛ වීරසිංහම් මධ්‍ය විද්‍යාලය පවත්වාගෙන යනු ලබන ඉඩමෙන්, පර්චස් 100ක භූමි ප්‍රමාණයක් එම මැදිරි සංකීර්ණය ඉදි කිරීම සඳහා යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන් කර දෙනු ලැබ ඇත. එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙත පවරා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.