• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම
- වනාන්තර ආශ්‍රිතව ඇති වන ගිනි ගැනීම්, මෙරට ස්වාභාවික වනාන්තර ප්‍රමාණය අඩුවීමට බල පා ඇති ප්‍රධාන හේතු අතරින් එකකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික ලැව්ගිනි ඇති නොවන අතර, වනාන්තර ප්‍රදේශවල හට ගන්නා ගිනි ගැනීම් සියල්ල මිනිසාගේ නොසැලකිල්ල නිසා ඇතිවන ගිනි ගැනීම් හෝ වුවමනාවෙන්ම සිදු කරනු ලබන ගිනිතැබීම් බව නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම, ගව හිමියන් විසින් ළපටි තෘණ ලබාගැනීමේ අරමුණින් තණබිම්වලට ගිනි තබනු ලබන අතර, ඒවා පැතිර යාමෙන් වනාන්තර ගිනි ගැනීම්වලට ලක්‍ වේ. දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම සඳහා ද, හේන් ගොවියන් විසින් ගොවිතැන සඳහා ද වනාන්තරවලට ගිනි තබනු ලැබේ. දුම්රිය මාර්ග කම්කරුවන් විසින් සිය ප්‍රයෝජනය සඳහා සිදු කරනු ලබන ගිනි දැල්වීම්, ඇතැම් ගැමියන් විසින් කැලෑ මායිම්වල පිහිටි සිය ඉඩම්වල සිදු කරනු ලබන ගිනි දැල්වීම්, මාර්ගවල ගමන් කරන්නන් විසින් ඉවත ලන දල්වන ලද සිගරට් කොට හා ගිනිකූරු ආදිය ද නොසැලකිලිමත් ගිනි තැබීම්වලට හේතුවන අතර, ඇතැමුන් විසින් හුදු විනෝදය සඳහා ද වනාන්තර ගිනි තබනු ලබයි.

වියළි කාලයේ ගිනි ගැනීම් හේතුවෙන් පස නිරාවරණය වී මෝසම් වර්ෂා කාලයේදී සෝදාපාළුවට ලක්වීම හා මෙම පස් සෝදා ගෙන ගොස් ගංගා, ඇළ මාර්ග ආදිය අවහිර වීම හා ජලාශවල රොන්මඩ වශයෙන් තැන්පත් වීමෙන් එවායේ ධාරිතාව අඩුවීම, ශාක හා සත්ත්ව ප්‍රජාව විනාශ වීම සහ ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීම, කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හැරීම ආදි අහිතකර ප්‍රතිවිපාක රැසක් මෙමඟින් ඇති වේ. 2016 වර්ෂයේදී පමණක් මෙරට වනාන්තර හෙක්ටයාර 2,945ක් පමණ ගිනි ගැනීම්වලට ලක් වී ඇත.

ඒ අනුව, වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම හා වළක්වා ලීමේ අරමුණින්, වනාන්තර තුළට ගිනි ගැනීම් පැතිරීම වළක්වා ලන පරිදි ගිනි ආරක්ෂණ බිම් තීරු (fire belts) ඇති කිරීම, ගිනි ගැනීම් බහුලව වාර්තා වන ප්‍රදේශ ආශ්‍රිතව ගිනි නිවීම් හදිසි ප්‍රතිචාර ඒකක ස්ථාපිත කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම ඇතුළු වැඩසටහන් මාලාවක්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.