• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'රජයේ ආයතනවලට වාහන ප්‍රසම්පාදනය' යන මැයෙන් වූ 2017-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් පත් කරන ලද නිලධාරි කමිටුවේ වාර්තාව
- රජයේ ආයතන සදහා වාහන සපයා ගැනීම පිණිස දැනට අනුගමනය කරනු ලබන 'මෙහෙයුම් කල්බදු ක්‍රමය' ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟී ඇති ගැටලු පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමට 2017 ඔක්තෝබර් 03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

i. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වැනි දේශපාලන අධිකාරින් සඳහා අවශ්‍ය වාහන ඍජු මිල දී ගැනීමේ ක්‍රමය යටතේ මිල දී ගැනීම.

ii. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා අවශ්‍ය වාහන මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ මිල දී ගැනීම.

iii. අධික භාවිතය හා ඉහළ නඩත්තු කිරීමක් සහිත ඩබල් කැබ් සහ වැඩි මගී ආසන සංඛ්‍යාවක් සහිත වාහන සඳහා මෙහෙයුම් කල්බදු ක්‍රමය තවදුරටත් අනුගමනය කිරීම.

iv. රාජ්‍ය ආයතනවල වාහන ඵලදායී අන්දමින් භාවිතා කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් භාණ්ඩාගාරයේ මූල්‍ය පාලන ජනරාල්වරයා (Comptroller General of the General Treasury) විසින් ක්‍රියාත්මක කිරීම.

v. විධිමත් අනුමැතියක් පරිදි කිසියම් නිලධාරියෙකුට හිමි වාහන සංඛ්‍යාව එකකට පමණක් සීමා වන බවට අදාළ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් වග බලා ගැනීම.

vi. දෙමුහුන් (Hybrid) එන්ජින් සහිත වාහන භාවිතය සඳහා ප්‍රමුඛතාව ලබා දීම සහ වසර 10කට වඩා පැරණි වාහන ඒවායේ ඉහළ නඩත්තු වියදම සැලකිල්ලට ගෙන බැහැර කිරීමට පියවර ගැනීම.