• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ඉදි කෙරෙන ගබඩා සංකීර්ණ කළමනාකරණය කිරීම
- අස්වනු නෙළන කාලසීමාව තුළ කෘෂි නිෂ්පාදන වැඩි වශයෙන් වෙළඳපොළට පැමිණීම හේතුවෙන් එම නිෂ්පාදනවල මිල පහළ යාමට විසඳුමක් වශයෙන් ගොවීන්හට ඔවුන්ගේ කෘෂි අස්වනු ගබඩා කිරීම සඳහා උසස් තත්ත්වයේ ගබඩා පහසුකම් සැලසීම සඳහා රජය විසින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මේ යටතේ රුපියල් මිලියන 600ක වියදමින් පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 03ක් ඉදි කිරීමට කටයුතු කරනු ලැබ තිබේ. ඉන් රත්නපුර ගබඩා සංකීර්ණයේ ඉදි කිරීම් දැනටමත් අවසන් කර ඇති අතර, අනෙකුත් ගබඩා දෙකෙහි ඉදි කිරීම් කටයුතු 2018 වර්ෂය ආරම්භයේදී අවසන් කිරීමට නියමිතය.

මෙම ගබඩා සංකීර්ණයන්හි කළමනාකරණය මාසික ගාස්තුවක් ගෙවීමේ පදනම මත බාහිර පාර්ශ්වයකට පැවරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මේ සම්බන්ධයෙන් අත්දැකීම් සහිත ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙත පොළොන්නරුව, රත්නපුර සහ කිලිනොච්චිය ගබඩා සංකීර්ණ කළමනාකරණය කිරීමේ කොන්ත්‍රාත්තු පැවරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.