• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලේ මගී මෙහෙයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් මගී පර්යන්තයෙහි සැලසුම්ගත මෙහෙයුම් ධාරිතාව වර්ෂයකට ගුවන් මගීන් මිලියන 6 කි. නමුත් 2016 වර්ෂයේදී ගුවන් මගීන් මිලියන 9.5ක් එහි හසුරුවා ඇති අතර, මෙම සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතී. එබැවින් මෙම ගුවන්තොටුපළෙහි වාර්ෂික මගීන් හැසිරිවීමේ ධාරිතාව මිලියන 15ක් දක්වා වැඩිදියුණු කිරීම සඳහා නව මගී පර්යන්තයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ තිබේ.

එම පර්යන්තය ඉදි කිරීමේ කටයුතු 2022 වර්ෂය වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එතෙක් ගුවන් මගී තදබදයට මුහුණු දීමේ අන්තර්කාලීන විසඳුමක් වශයෙන් පෙර සවි මගී පර්යන්තයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, කාර්ය බහුල අවස්ථාවන්හිදී පැයකට පිටත්වීමේ මගීන් 400ක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය හැකි පෙර සවි මගී පර්යන්ත ගොඩනැඟිල්ලක් 2018 වර්ෂය අවසන් වන විට ඉදි කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.