• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම
- යාපනය නගරයට කිලෝමීටර 15ක් පමණ උතුරින් පිහිටා ඇති කන්කසන්තුරේ වරාය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලවට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ගොඩනඟන ලද්දකි. මීටර 06ක පමණ ගැඹුරින් යුත් මෙම වරායට, නැව් භාණ්ඩවල බර ටොන් 2,500ට වඩා අඩු නෞකා මෙහෙයවිය හැකිය. මෙම වරාය, ඉන්දියානු වරායන්ට ආසන්නව පිහිටා තිබීම නිසා අන්තර්ජාතික නාවික කටයුතු හා සම්බන්ධ වීමටත්, ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධනය කිරීමටත්, උතුරු හා උතුරු මැද පළාත්වලට අවශ්‍ය සේවා සපයමින් කලාපීය වරායක් ලෙස සංවර්ධනය කිරීමටත් හැකියාව පවතී.

ඒ අනුව, කන්කසන්තුරේ වරායේ දියකඩනය ප්‍රතිසංස්කරණය, නව ජැටියක් ඉදි කිරීම හා එහි වාණිජ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් සකස් කරනු ලැබ තිබේ. මෙම වරායේ වාණිජ මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වරාය ගුදම් ස්ථාපනය කිරීමට හා පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අක්කර 50ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙතින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.