• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'නිල සෙවණ' නිවාස ව්‍යාපෘතිය සඳහා මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් විකල්ප ඉඩමක් ලබා ගැනීම
- රාජ්‍ය සේවකයින් සඳහා නිවාස සැපයීමේ අරමුණින් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන 'නිල සෙවණ' නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ සඳහා වෙන් කරනු ලැබ ඇති ඉඩම භාවනා අසපුවකට යාබදව පිහිටා ඇති බැවින්, එමඟින් එම ආගමික ස්ථානයේ කටයුතුවලට සිදු විය හැකි බාධා සැලකිල්ලට ගෙන එම ව්‍යාපෘතිය වෙනත් ස්ථානයක ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබ තිබේ.

ඒ අනුව, විකල්ප ඉඩමක් වශයෙන් කුණ්ඩසාලේ ප්‍රදේශයේ, මහවත්ත ග්‍රාමයේ පිහිටි, රජය සතු ඉඩම් කොටසක් ඒ සඳහා වෙන් කර දීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.