• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම දිස්ත්‍රික්කයේ කිවුල්දිය ඉස්සන් වගාව සඳහා නව ගොවිපළ ඉදි කිරීමට අවසර ලබා දීම
- ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රධානතම වාණිජ ජලජීවී වගාව කිවුල්දිය ඉස්සන් වගාව වන අතර, එය වඩාත් ප්‍රචලිතව පවතින පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් හෙක්ටයාර 4,500ක වපසරියක ඉස්සන් ගොවිපළ 1,320ක් පමණ පවතී. මෙම ඉස්සන් ‍ගොවිපළවල් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනෙන ප්‍රධාන මූලාශ්‍රය හලාවත, පුත්තලම හා මුන්දලම යන කළපු යා කෙරෙන ලන්දේසි ඇළ වේ. එමඟින් ජලය ලබාගත හැකි උපරිම සීමාව ඉක්මවා ජලය ලබාගැනීම හේතුවෙන් මෙම කර්මාන්තයට ඇති වූ අහිතකර බලපෑම් හා ඒ සඳහා වෙනත් ප්‍රමාණවත් ජල මූලාශ්‍රයක් නොතිබීම ආදී කරුණු සැලකිල්ලට ගෙන ඉස්සන් වගාව සඳහා එම දිස්ත්‍රික්කයේ අලුතෙන් ඉඩම් යොදවා ගොවිපළ ඇති කිරීම 2003 වර්ෂයේදී අත්හිටුවන ලදී.

කන්න ක්‍රමයට කාලසටහනක් අනුව ජලය සැපයීම මඟින් මේ වන විට ලන්දේසි ඇළේ ජලය උපයෝජනය කිරීම තිරසර පරිදි පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම, වර්තමානයේ අනුගමනය කරනු ලබන අඩු ඝනත්වයක් යටතේ ඉස්සන් වගාව සිදු කිරීමේ අර්ධ තීව්‍ර ක්‍රමය (semi intensive farming) වෙනුවට ඵලදායීත්වය වැඩි අධි තීව්‍ර ක්‍රමය (high intensive farming) යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපළ ඇති කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අනුව, ඉස්සන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඉහළ ශක්‍යතාවක් ඇති බවට තහවුරු කරගනු ලබන ව්‍යාපෘති යෝජනා සඳහා අධි තීව්‍ර ක්‍රමය යටතේ පමණක්, දැඩි නියාමනයකට යටත්ව, පුත්තලම දිස්ත්‍රික්කයේ නව ඉස්සන් ගොවිපළවල් ඉදි කිරීමට අවසර ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.