• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කිරීම
- වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය වන අවම සදුසුකම් වෛද්‍ය ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කිරීම දිගු කලක සිට පවතින අවශ්‍යතාවකි. වෛද්‍ය අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ අවම සුදුසුකම්, වෛද්‍ය අධ්‍යාපන පාඨමාලාවන්හි අන්තර්ගතය, වෛද්‍ය සිසුන් ඇගයීම්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අධ්‍යයන සම්පත් හා පහසුකම්, පාඨමාලා සමාලෝචනය, අධ්‍යයන ක්‍රියාවලිය අඛණ්ඩව යාවත්කාලීන කිරීම, පාලනය හා කළමනාකරණය යන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය අවම ප්‍රමිතීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කෙටුම්පත් කරනු ලැබ තිබේ. මෙම ප්‍රමිතීන් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපතිවරයා ඇතුළු අදාළ පාර්ශ්ව මේ වන විට එකඟතාවකට පැමිණ තිබේ.

වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගනු ලබන සෑම සිසුවෙකුම, මෙරට අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයන් (Credit Passes) දෙකක් (02) සහ සාමාන්‍ය සාමර්ථ්‍යයක් (Simple Pass) සහිතව එක් වාරයකදී සමත්ව තිබීම වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අවශ්‍ය අවම සුදුසුකම වශයෙන් සැලකිය යුතු බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්‍රමිතීන්, වෛද්‍ය ආඥාපනත යටතේ වන රෙගුලාසි වශයෙන් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.