• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිනිති - චන්ද්‍රිකා තාක්ෂණය සහ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ නිපුණතාවන් අත් කරගැනීම
- අභ්‍යවකාශ තරණය සඳහා යොමු වී නොමැති රටවල් සඳහා මූලික චන්ද්‍රිකා තාක්ෂණය අත් කරගැනීමේ හැකියාව ලබා දීම අරමුණු කරගත් වැඩසටහනක්, ජපානයේ ජාතික විශ්වවිද්‍යාලයක් වන කියුෂු තාක්ෂණ ආයතනය (KYUTECH) විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. මෙමඟින් නිනිති චන්ද්‍රිකාවක් (nano-satellite) සැලසුම් කිරීම, නිර්මාණය, වැඩිදියුණු කිරීම, තැනීම, පරීක්ෂා කිරීම, දියත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ලබා දෙනු ලැබේ. මෙහි පළමු අදියර යටතේ ජපානය, මොංගෝලියාව, ඝානාව සහ බංග්ලාදේශය යන රටවල ඉංජිනේරුවන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් දියත් කරන ලද චන්ද්‍රිකාවක් මේ වන විට සාර්ථකව කක්ෂගත කරනු ලැබ තිබේ.

මෙම වැඩසටහන යටතේ නිනිති චන්ද්‍රිකාවක් නිර්මාණය හා කක්ෂගත කිරීමේ මීළඟ පියවර සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් දෙදෙනෙකුද තෝරාගනු ලැබ ඇති අතර, එමඟින් මෙම ක්ෂේත්‍රයේ දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවනු ඇත. ඒ අනුව, මෙම නිනිති චන්ද්‍රිකා සංවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සම්බන්ධයෙන් ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය (KYUTECH) සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT) අතර සහයෝගිතා පර්යේෂණ ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.