• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියළි කලාපයේ වනාන්තර රැක බලාගැනීමට ජනතා සහභාගිත්වය ලබාගැනීම
- 2010 වර්ෂයේ සංගණන දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් වේ. වනාන්තර කළමනාකරණය සඳහා ජනතා සහභාගිත්වය ලබාගැනීමේ අවශ්‍යතාව ජාතික වන ප්‍රතිපත්තිය මඟින් ද හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා විවිධ උපාය මාර්ග, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. මෙරට වන ආවරණය ඉහළ නැංවීම සහ එහි තිරසරභාවය ඇති කිරීම අරමුණු කරගනිමින් මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

ඒ අනුව, වනාන්තරවලට යාබදව ජීවත්වන ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය නංවාලමින් වනාන්තර රැකගැනීම සඳහා 'ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන' ක්‍රියාවට නැංවීමට යෝජනා වී තිබේ. මේ යටතේ, ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපයන්ට අයත් දිස්ත්‍රික්ක 17ක, වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවා ලීම සඳහා විවිධ ජීවනෝපායන් හඳුන්වා දීම, ඒ සඳහා අවශ්‍ය පුහුණු උපකරණ ලබා දීම, ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, වනාන්තර සංරක්ෂණය සඳහා පාසල් සිසුන් පෙලඹවීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. මෙමඟින් 20,000කට වැඩි පිරිසකට ඍජු ආර්ථික ප්‍රතිලාභ අත් කර දීමට හැකිවනු ඇති අතර, හෙක්ටයාර 30,000ක පමණ වනාන්තර ප්‍රදේශයක් සංරක්ෂණය කෙරෙනු ඇත. ඒ අනුව, රුපියල් මිලියන 261.06ක වියදමින්, 2018-2020 කාල පරිච්ඡේදය තුළ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.