• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැතිවරණ කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- මැතිවරණ කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත කටයුතු මෙන්ම පරිපාලන කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක මට්ටමෙන් ප්‍රාදේශීය කාර්යාල 25ක් පිහිටුවනු ලැබ තිබේ. මේ අතුරින් යාපනය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගොඩනැඟිල්ලෙන් වෙන් කර දෙනු ලැබ ඇති සීමිත ඉඩ ප්‍රමාණයක් තුළ අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලැබේ. එබැවින්, එම කාර්යාලය සඳහා වෙනම කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, යාපනය නගර සීමාව තුළ පිහිටි රජය සතු ඉඩම් කොටසක් දැනටමත් ඒ සඳහා වෙන් කරවා ගනු ලැබ තිබේ.

ඒ අනුව, වර්තමාන හා අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, යාපනය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සඳහා වර්ග අඩි 18,425ක ප්‍රමාණයකින් යුතු සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 97.7ක අරමුදල් සලසා ගැනීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.