• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වේක්කයා (Chanos chanos) මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් සඳහා බදු පදනම මත ඉඩම් ලබා දීම
- මෙරට ප්‍රධානතම අපනයන මත්ස්‍ය ප්‍රභේදයන් වන ටූනා සහ බිල් ෆිෂ් වර්ගයේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීම සඳහා භාවිත කරනු ලබන මරුවැල් පන්න ක්‍රමයේදී දැල්ලන්, වේක්කයන් සහ සාලයන් වැනි මසුන් ඇම වශයෙන් යොදාගනු ලැබේ. මේ සඳහා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 7,000ක පමණ ඇම අවශ්‍ය වුවත්, ඉන් දේශීයව සපයා ගනු ලබන්නේ මෙට්‍රික් ටොන් 3,000ක පමණ ප්‍රමාණයකි. ඇම වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙරට ප්‍රධාන අපනයන මත්ස්‍ය විශේෂයන්ගේ මිල ඉහළ යාම සිදුවන අතර, එය එම නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපොළෙහි තරගකාරී මිලක් නියම කිරීමේදී අහිතකර ලෙස බලපානු ලබයි.

ඇම සඳහා මෙන්ම මිනිස් පරිභෝජනය සඳහාද යොදා ගත හැකි 'වේක්කයා' (Chanos chanos) මත්ස්‍යයින් වාණිජ මට්ටමින් ඇති කිරීම ඉතා ලාභදායි වන අතර, ඇම ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන රුපියල් බිලියනයකට අධික මුදලින් විදේශ විනිමය යම් ප්‍රමාණයක් ‍එමඟින් ඉතිරි කර ගත හැකිවනු ඇත. මෙම වේක්කයා මත්ස්‍යයින් තීව්‍ර ක්‍රමයට බෝ කිරීමේ ව්‍යාපෘති යෝජනාවක් සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය රජයේ හවුල්කරු ලෙස ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය - පෞද්ගලික පදනම ය‍ටතේ, නියමිත පාරිසරික බලපෑම් ඇගයීම් සිදු කිරීමට යටත්ව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ, බංගදෙණියේ පිහිටි ප්‍රමාණයෙන් හෙක්ටයාර 12.14ක් වන, ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියට අයත් ඉඩ‍ම් කොටසක් එම සංගමය වෙත බදු පදනම මත ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.