• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන්ට සහන ණය ලබා දීම
- රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන කඩඉම් ලකුණු ක්‍රමවේදය හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොලැබෙන සිසුන්ට උපාධි ප්‍රදානය කරනු ලබන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/-ක උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත සහන ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් 2017 අයවැය යෝජනාවක් අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මීට සමගාමීව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීම සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙත ඔවුන්ගේ සාමාන්‍ය වියදම්ද ආවරණය වන පරිදි රුපියල් මිලියන 1.1ක් දක්වා ණය මුදලක් ලබා දීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, වෙනත් උපාධි පාඨමාලා හදාරනු ලබන තරුණ තරුණියන්ටද මෙම ණය මුදල මඟින් දැනට ආවරණය කෙරෙන පාඨමාලා ගාස්තු සහ පොත්පත් සඳහා වන වියදම්වලට අමතරව, අනෙකුත් සාමාන්‍ය වියදම් සඳහාද වර්ෂයකට රුපියල් 75,000/-ක් බැගින් එක් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ ලබා දෙනු ලබන ණය මුදලේ උපරිම වටිනාකම, වසර 03ක උපාධියක් සඳහා රුපියල් දසලක්ෂ විසිපන්දහසක් (රු.1,025,000/-) සහ වසර 04ක උපාධියක් සඳහා රුපියල් එකොළොස් ලක්ෂයක් (රු.1,100,000/-) දක්වා ඉහළ නැංවීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.