• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම අරමුදල් සලසා ගැනීම
- වයඹ, උතුරු මැද හා උතුරු යන පළාත්වල ඇති වියළි ප්‍රදේශයන්ට මහවැලි ග‍ඟෙහි ජලය ලබා දීම මඟින් එම ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යන ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කෙරේ.

මෙම ණය වැඩසටහනෙහි දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 210ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමට නියමිත අතර එය ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ උමං සහිත ඇළ මාර්ගයේ කොටසක් ඉදි කිරීම, ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ කළුගඟ - මොරගහකන්ද යා කරන ඇළ කොටසක් ඉදි කිරීම, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ මහකිතුල උමං මාර්ගය, මහකිතුල සහ මහකිරුළ ජලාශ, මහකිතුල සිට මහකිරුළ ජලාශය දක්වා වන පෝෂිත ඇළෙහි කොටසක් ඉදි කිරීම, ඉහත ඉදි කිරීම් සිදු කරන ප්‍රදේශවල පාරිසරික සහ සමාජ ආරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් සිදු කිරීම පිණිස යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.